Sunday, April 29, 2018

ප‍්‍රථම වෙසක් දිනය

සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වසර තුන් සියයක් පමණ ඉක්ම යනතුරුම උන් වහන්සේගේ තෙමඟුල වෙසෙසින් සැමරෙන වෙසක් උළෙලක් නොපැවති බැව් බෞද්ධ ඉතිහාසඥයින්ගේ මතයවේ.

සදහම් පණිවුඩය ලෝ දසත පතුරා බුදු දහම ලෝ දහම බවට පත් කිරීමට වෙර දැරූ අශෝක අධිරාජයාගේ සෙල් ලිපියකින් එවකට පැවති පෙරහැරක් පිළිබඳ තතු හෙළි වෙයි’ අලි ඇතුන් සහිත එම පෙරහැරේ දේව රූප ද ගෙන ගිය බව කියැවෙයි’ ඉන් පසු එවැනි උළෙලක් ගැන සඳහන් වනුයේ ඊට වසර අටසියයකට පමණ පසු ඉන්දියාවට පැමිණි පාහියන් නමැති චීන ජාතික දේශ සංචාරක භික්ෂුවගේ දේශාටන වාර්තාවෙහි ය. පාටලි පුත‍්‍ර නගරයේ පැවති පිළිම පෙරහැරක් පිළිබඳ ඔහුගේ විස්තරය පිළිවිසින ඉතිහාසඥයෝ එදා එසේ පවත්වන ලද්දේ වෙසක් උළෙල විය යුතු යයි නිගමනය කරති.

ඉන්දියාවේ මෙම උත්සවය වෛශාඛ පූර්ණිමා යනුවෙන් හඳුන්වනු ලැබේ.

දේවානම්පියතිස්ස රජතුමා (ක‍්‍රි. පු. 220-210) දෙවන වරට රාජාභිෂේක වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක දී ය. අනතුරුව දෙවනපෑතිස් මහ රජු සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසු සතර පොහෝ දින ලක් වැසි දන උපෝසථයෙන් කල්ගත කළ බවට කරුණු හෙළිදරව් කරන මහා වංශය දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය කාලයේ වෙසක් උත්සව සූ විස්සක් පැවති බව සඳහන් කරයි. එතුමා රුවන්වැලිසෑය ගොඩනැඟීමට මුල්ගල තබන ලද්දේත් වෙසක් පුර පසළොස්වක බැව් සඳහන් වෙයි. මෙසේ හෙළ රජ දවස සිට තුන් සිංහලේ තෙමඟුල් දිනය ලෙස අබිමන් පෑ වෙසක් දින මහිමය බටහිර විදේශ ආක‍්‍රමණයෙන් පසු මිලිනවී ගියේ ය.

මෙරටට පැමිණි පෘතුගීසීන් විසින් 1770 නොවැම්බර් 1 වන දින සුවහස් කල් පැවති පොහෝ දින නිවාඩුව නැති කොට ඉරු දින නිවාඩු පණත සම්මත කරන ලදි.

වසර 300 කට ආසන්න පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රිසි ආදී ත‍්‍රිවිධ බටහිර විදේශික ග‍්‍රහණ නිසා අඳුරු ආගාදයේ ගිලී තිබූ ශ‍්‍රී ලංකාවේ බෞද්ධ බලය යළි පුනර්ජීවය ලබන්නට වූයේ 1873 දී මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ පානදුරා වාදයේ අනුහසිනි.

වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ අභීත සිංහනාදයේ රාවය සත් සමුදුර තරණය කොට ගොස් ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමාගේ දෙසවන නොවැකෙන්නට එවක නැග ආ බෞද්ධ පුනර්ජීවනය එතරම් ලෙහෙසියෙන් සිය අභිමතාර්ථයන් මස්තකප‍්‍රාප්ත කර ගැනීමට නොහැකිවනවා නොඅනුමානයි. එදා නැඟ ආ බෞද්ධ පුනර්ජීවනය දිග් විජය කරා මෙහෙයවනු වස් කෙරුණු අසිරිමත් ඇරයුමක් බඳු වූ පානදුරා වාදයේ කාහල නාදයෙන් කැළඹුණු  ඕල්කට්තුමා ලක්දිවට පැමිණ ඉටු කළ අනුපමේය අමරණීය සේවාව කුදු මහත් හැම සිංහලයෙකුගේම භක්ති ප‍්‍රණාමයට හේතු වෙමින් පවතී. 

කර්නල්  ඕල්කට් තුමා බ්ලැවැට්ස්කි මැතිණිය සමඟ 1880 මැයි 21 වැනි දින ගාල්ලට පැමිණියේ ය. ගාල්ලේ විජයානන්ද විහාරයේදී පූජ්‍ය අක්මීමණ ධර්මාරාම මාහිමිපාණන් වෙතින් පන්සිල් සමාදන්වී බුදු දහම වැළඳ ගත්තේය. පසුව කොළඹට පැමිණ බෞද්ධ ගිහි පැවදි උතුමන් හමු වී කරුණු සාක්ෂාත් කරගෙන 1880 ජුනි 17 දින පරම විඥානාර්ථ සමාගමේ කොළඹ ශාඛාව ඇරඹුවේය. එතැන් සිට ලක්දිව බෞද්ධ සංස්කෘතිය හා සභ්‍යත්වය දියුණු කිරීමට උරදුන් එතුමා විසින් සිංහල බෞද්ධයන් එ්කරාශී කොට පිබිදවීමටත්, උද්ඝෝෂණය කිරීමටත් සරසවි සඳරැස පත‍්‍රය අරඹන ලදි.

යුරෝපීය ආණ්ඩුව ලක්දිවට පැමිණ අවුරුදු තුන්සීයක් පමණ ගත විය. මේ කාලය තුළ දී මේ ආණ්ඩුවලින් බුද්ධාගමට පැමිණි නා නා විධ විපත් ඉතා මහති, බලහත්කාරයෙන් බෞද්ධයන්ට හිරිහැර දුන් ප‍්‍රතිකාල් ආණ්ඩුව මෙන් ද ක‍්‍රිස්තියානි වූවන්ට නිල තල දීම ගෞරව භාවයෙන් සැලකීම් ආදියෙන් බෞද්ධයන් බලහත්කාර ලෙසින් ක‍්‍රිස්තියානි කරවූ  ඕලන්දකාර ආණ්ඩුව මෙන්ද ක‍්‍රියා නොකළ නමුත් අපේ සර්ව සාධාරණ ඉංග‍්‍රීසි ආණ්ඩුවෙන් බුද්ධාගමට පැමිණි විපතුත් ස්වල්ප නොවෙයි.

මෙපවත් ලෙසින් සිය අයිතිවාසිකම් ලබා ගැනීමට ඉදිරිපත් වූ බෞද්ධාරක්ෂක සභාව  ඕල්කට්තුමාගේ යටත් විජිත භාර මහ ලේකම් වෙත යැවෙන සංදේශය ප‍්‍රධාන කරුණු සතරකින් සංගෘහිත කළහ.

1. 
සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ දවස ආණ්ඩුවේ නිවාඩු දවසක් කිරීම.

2. 
බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස නොහොත් පෙර පරිද්දෙන් බාධා රහිතව කිරීමට සලස්වා දීම.

3. 
ලංකාවේ විහාර, දේවාලගම් පවත්වා ගෙන යාම නිරවුල් ලෙස පවරා දීම.

4. 
බෞද්ධයන්ගේ විවාහ බන්ධනය කිරීමට බෞද්ධ විවාහ ලේකම්වරුන් පත් කරවා ගැනීම.

මෙම කරුණු සතර ඇතුළත් සංදේශය පිළිබඳ සම්පූර්ණ වගකීම  ඕල්කට්තුමා වෙත පැවරූ සිංහල බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීහු එතුමා නිරනුමාණව, සහනදායක පිළිතුරු ලබා ගෙන එනු ඇතැයි ඒකාන්ත වශයෙන් විශ්වාස කළහ. එහි සඳහන් ප‍්‍රධාන ඉල්ලීම වූ වෙසඟ පුන් පොහෝ දිනය ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් කිරීම සම්බන්ධයෙන් කලෙක පටන් ඔවුන් කළ ආයාචනය පිළිබඳව සරසවි සඳරැසෙ හි මෙසේ සඳහන් වෙයි.





නමුත් ආණ්ඩුව හයෙන් කොටසක් පමණ ක‍්‍රිස්තියානි ආගමේ නිවාඩු දවස් කොට අධිකරණ ශාලාදිය එකී දින වල වසතත් බෞද්ධයන්ගේ ආගම වශයෙන් ඉතා උතුම් අවකාශ දවසක් නොහොත් පුණ්‍ය කාලයක් ලෙස සලකන වෙසක් පුර පසළොස්වක් දවසවත් ආණ්ඩුවේ නිවාඩු දවස් නොකෙළේයි. ලංකාව බුද්ධාගමට කුල ගෘහයක් මෙනි. මෙහි වැසියන්ගේ ඉතා වැඩි කොටසක් ද බෞද්ධයෝය. මේ බෞද්ධයන් විසින් අවකාශ දවස් මෙන් නොහොත් ආගම් කටයුතු කරන දවස් මෙන් සලකන දවස් පණස් ගණනක් අවුරුද්ද තුළ තිබෙති. ලංකාවේ වැඩි දෙනා අදහන බුද්ධාගමේ නිවාඩු දවසක්වත් ආණ්ඩුවේ නිවාඩු දවසක් නොකොට පිටරටින් පැමිණි ආගන්තුක වූ ආගමක් අදහන ස්වල්ප දෙනාට ඒ ආගමේ කටයුතු කිරීමට අවුරුද්දෙන් හයෙන් කොටසක් අවකාශ කාලය කර පැවැත්වීම ඉංග‍්‍රීසි ආණ්ඩුවේ මහත් අයුත්තක් ලෙස සිතිය හැකිව තිබුණේයි. අනික් අතින් බෞද්ධයන් විසින් ඉතා උතුම් කොට සලකන මෙම වෙසඟ පුර පසළොස්වක් දින දී ලංකාංඩුව රාජ්‍ය කෘත්‍ය නොනවත්වා තිබීම කෙසේද කීවොත් මල්, පහන්, සුවද දුම් ආදිය රැගෙන වඳින පුදන පිණිසත්, සත්ධර්මය ශ‍්‍රවණය පිණිසත් පන්සල්වලට යන්නට සැරසී සිටින ජනයාට ඒ ගමන යන්නට එපාය කියා වචනයෙන් නොකියා ගමන වලක්වන පිණිස අධිකරණ ශාලාවට නැතිනම් කච්චේරියට එක්කෝ වෙනයම් රාජ කෘතියක් කිරීමට එන්ට කියා නියෝග කරන්නාක් මෙනි. මේ නිසා මෙකී දවස් රාජ කෘති නොනැවැත්ම බෞද්ධයන්ට බුද්ධාගම අදහන්ට ඉඩ නොදී කරන මහත් හිරිහැරයක්ය.

සමස්ත ලංකා ගිහි පැවිදි බෞද්ධයන්ගේ අයැදීම පරිදි 1884 පෙබරවාරි 08  කොළඹට පැමිණි කර්නල්  ඕල්කට් තුමා බෞද්ධාරක්ෂක සභාව මඟින් පිළියෙල කොට තිබූ සංදේශය යටත් විජිත මහ ලේකම් වෙත භාරදී සාකච්ඡුා කිරීම පිණිස එංගලංතය බලා ගියේය.

ඉන් පසු එතෙක්-මෙතක් වූ තත් සිදුවීම් හා ලැබූ ප‍්‍රථිඵල ගැනත් සරසවි සඳරැස උදම් ඇනුවේ මෙලෙසිනි.

ක‍්‍රිස්තු වර්ෂ 1880 වේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ විසි හත් වැනි දින නිකුත් කළ සරසවි සඳරැස පත‍්‍රයෙහි ද ඊට පසු නිකුත් කළ පත‍්‍රයක ද වෙසඟ පුර පසළොස්වක දින නිවාඩු දවසක් කිරීමේ යුතුකමත් එසේ කරවා ගැනීමට බෞද්ධ ජනයන් විසින් උත්සාහ කළ යුතු බවත් කියා දීර්ඝ වාක්‍ය දෙකක් ලියා පළ කළෙමු. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී කර්නල්  ඕල්කට් තුමා කොළඹ වාසී බෞද්ධයන්ගේ අයැදීම පිට ලංකාවට පැමිණි කාලයෙහි ලංකාංඩුව අතින් බෞද්ධයන්ට කරවාගත යුතුව තිබෙන දේ ගැන උතුමාණන් වහන්සේ සමඟ කතා කරද්දී  වෙසඟ පුර පසළොස්වක් දිනයත්, සිංහල අවුරුදු මංගල්‍ය දවසත් බෞද්ධයන්ගේ නිවාඩු දවසක් කිරීමේ යුතුකම සිප්කඩුවේ නායක ස්වාමිපාදයන් වහන්සේගේ අනුමතය පොදු ජනයා වෙනුවෙන් ප‍්‍රකාශ කොට කථා කෙළේය. මීට දෙතුන් දිනකට පසු විද්‍යොදය පිරිවෙණේ තෑගි බෙදා දෙන දවසේදී උතුමාණන් වහන්සේගේ එහි පැමිණීම සම්බන්ධව කථාබස් කර ගැනීමට නායක ස්වාමීන් වහන්සේ සමඟ කර්නල්  ඕල්කට් තුමා පැමිණි ප‍්‍රස්ථාවේදී ද මේ ගැන කථා කළ විට ඕල්කට් උතුමා එසේ කරන්නට කල්පනා කරන බව ඒ දෙපල සමඟ කී බව ඇසීමු, නමුදු ගිය අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක් දින දී කොහොම නමුත් ඒ නිවාඩුව නොලැබුණේයි, බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස කර ගැනීම ආදී බෞද්ධයන්ට ආගම අතින් ලංකාණ්ඩුව ලවා කරවා ගත යුතු කරුණු එංගලන්ත ආණ්ඩුවට මතක් කිරීම පිණිස කර්නල්  ඕල්කට් තුමා එංගලන්තයට පැමිණි කාලයෙහි ප‍්‍රදේශ භාර මහාමාත්‍යට ලංකාවේ බෞද්ධයන්ට  ඕනෑ කරන කරුණු මතක් කරද්දී ද හින්දු රට ඉංගිරිසි ආණ්ඩුව විසින් එහි වැඩි හින්දු වරුන්ට ආගම අතින් දී තිබෙන නිදහස ආදිය මතක් කරමින් මේ සම්බන්ධව කරුණු රාශියක් ගිය දෙසැම්බර් මාසයේ දී ආණ්ඩුවට ලියා තිබෙයි. කර්නල්  ඕලකට් තුමා ලංකාවට පැමිණි කාලයෙහිදී උතුමාණන් වහන්සේ සමඟ මේ ගැන කතා කළේය. එවිට ඇතැම් අයගේ සිංහල අවුරුදු දවස නිවාඩු දවසක් කර ගැනීමට කැමැත්තක් තිබෙන බැවින් දෙදවසක් දෙන්නට නොහැකි නිසා මෙයින් කොයි දවස තෝරා ගැනීමට බෞද්ධයන් කැමතිද යන වග ආණ්ඩුවට මතක් කරන්නට කියූ ලක උතුමා  ඕල්කට් තුමා බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීන් කරා මේ සම්බන්ධව ලියුම් යැවුයේයි, මීට පසු වෙසඟ පුර පසළොස්වක් දින ආණ්ඩුවේ නිවාඩු දවසක් කොට ඒත්තු ගන්නා ලදැයි යන මේ ප‍්‍රීතිමත් ප‍්‍රවෘත්තිය අපට අහන්නට දකින්නට ලැබුණේයි. මේක ලංකාවාසී බෞද්ධ ජනයන්ට ලැබුණු මහත් ඓශ්චර්යයෙකි. මෙපමණ උතුම් වැඩක් බෞද්ධයාට කර දීමට අන්‍ය ජාතික අන්‍ය රටක උපන් මහතෙක් විසින් මෙපමණ මහත් උත්සාහයක් දැරීම කොපමණ උතුම් කොට සැලකිය යුතු ද? ලංකාවාසී බෞද්ධයන් කෙරෙහි මෙපමණ කරුණාවක් කර්නල්  ඕල්කට් තුමාගේ තිබේ ද යනු මෙයින් පෙනේ. මේ ඉසුර බෞද්ධයන්ට ගෙනදීමට ආණ්ඩුවට කාරණා මතක් කළ කර්නල්  ඕල්කට් තුමාට සහ සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේටද තව මේ ගැන උත්සාහ දැරූ කොළඹ වාසී බෞද්ධයන්ටද මුළු ලක්දිවම බෞද්ධ ජනයා විසින් එකහෙළා ස්තුති කටයුතුයි. 1885 මාර්තු 27 වැනි දින නිකුත් වූ ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රයේ පළ වූ නිවේදනයකින් වෙසක් දින නිවාඩුව ප‍්‍රකාශයට පත් වීමේ ප‍්‍රීතියෙන් ඇළලී ගිය ලාංකික බෞද්ධ ජනතාව රජයේ අනුමැතිය ලැබූ ප‍්‍රථම වෙසක් පොහෝ නිවාඩු දිනය ඉතා ඉහළින් පැවැත් විය.

ලාංකික බෞද්ධ ජන සමූහයා පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයා පරමාරථ හා අධිෂ්ඨාන වශයෙන් එක් සේසත් කිරීම සඳහා සුසැදුණු බෞද්ධ ධජයක් මෙම ඓෙතිහාසික ප‍්‍රථම වෙසක් නිවාඩු දින ලක් දෙරණ මත ලෙළවීම පිණිස පිළියෙල කිරීම විශේෂ කමිටුවකට භාර කළහ. (වෙසක් කොඩිය ගැන වෙනම ලිපියක් පසුව ලියමි.)

කර්නල්  ඕල්කට් තුමාගේ මැදිහත් වීමෙන් වර්ධනය වූ බෞද්ධ පුනරුදයේ මහිමයෙන් මුල් වරට වෙසක් පුන් පොහෝ දින නිවාඩුව ලැබි හා පුරා ලක් දෙරණ මත බෞද්ධ ධජය සවණක් රැස් විහිදා ලෙළ දුන්හ. 

1885 වසරේ සිට වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක්  ලෙස පැවත පැමිණේ.



(බී.ඒ. හෙමපාල මහතාෙග් ජාතික සැමරුම් නම් කෘතිෙයන් උපුටා ගන්නා ලද්දකි.)