Wednesday, February 25, 2026

ලෝකයම වෙනස් කළ මහා සංග්‍රාමය

පළමු ලෝක යුද්ධය (1914–1918)


මානව ඉතිහාසයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන පළමු ලෝක යුද්ධය, යුරෝපයේ සීමාවන් තුළ ආරම්භ වූවත්, එය ඉක්මනින්ම ලෝකය පුරා පැතිර ගියේය. එතෙක් පැවති අධිරාජ්‍ය බල සමතුලිතතාවය බිඳ දමා, නව ලෝක ක්‍රමයකට පදනම දමමින්, 20 වැනි සියවසේ දේශපාලන ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කළහ.


ගිනි පුපුරක් වූ ඝාතනය


1914 ජූනි 28.

ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි

Archduke Franz Ferdinand

සරජේවෝ නගරයේදී ඝාතනයට ලක් විය.

ඝාතනය සිදු කළේ සර්බියානු ජාතිවාදී තරුණයෙකු වූ

Gavrilo Princip

මේ සිදුවීම යුරෝපයේ ගැටුම්කාරීව තිබූ සන්ධාන පද්ධතිය ගිනි තැබූ පුපුරක් විය. සති කිහිපයක් ඇතුළත රටවල් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කළ අතර ලෝකය දෙපාර්ශවයකට බෙදී ගියේය.


මිත්‍ර පාර්ශවය (Allied Powers): බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව, පසුව එක් වූ ඇමරිකා එක්සත් ජනපදය.


මධ්‍යම බලවතුන් (Central Powers): ජර්මනිය, ඔස්ට්‍රෝ-හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍යය.


පළමු ලෝක යුද්ධය විශේෂ වූයේ “Trench Warfare” ලෙස හඳුන්වන අගල් යුද්ධ ක්‍රමය නිසාය.

සැතපුම් ගණනක් දිගු අගල් තුළ සොල්දාදුවන් ජීවත් වූයේ මඩ, සීතල, රෝග හා නිතරම මරණය සමඟය. ඉදිරියට ගමන් කිරීමේදී ජීවිත දහස් ගණනින් බිලි වූ සටන් බිම් බොහෝය.


මෙම යුද්ධය තුළ

#යුධ ටැංකි

#ගුවන් යානා

#යන්ත්‍ර තුවක්කු

#විෂ වායු ප්‍රහාර


පළමු වරට විශාල පරිමාණයෙන් භාවිතා විය.

තාක්ෂණය ඉදිරියට ගියත්, මිනිස් ජීවිතයන් පසුපසට වැටුණ අතිශය අදුරු කාලයකි එය.


විනාශය අතරින් උපන් නවීන ලෝකය


යුද්ධය විනාශයක් වූවත්, එය නව නිපැයුම් ගණනාවකට ද මඟ පෙන්වීය.


Wristwatch – යුද බිමේදී සාක්කුවේ ඔරලෝසු භාවිතය අපහසු වූ නිසා, අතේ බැඳගත හැකි ඔරලෝසු ජනප්‍රිය විය.


Zipper – සොල්දාදුවන්ගේ ඇඳුම් සඳහා ඉක්මන් හා ආරක්ෂිත වසාගැනීමේ ක්‍රමයක් ලෙස දියුණු විය.


Stainless Steel – තුවක්කු බටවල මල බැඳීම වැළැක්වීමේ පර්යේෂණ අතරින් බිහි විය.


Sanitary Napkins – Cellucotton ද්‍රව්‍යය තුවාල බැඳීමට භාවිතා කළ අතර, පසුව සනීපාරක්ෂක නිෂ්පාදනවලට පදනම විය.


Blood Banks – රුධිරය කල් තබා ගැනීමේ ක්‍රම සංවර්ධනය වී, ප්‍රථම රුධිර බැංකු සංකල්පය බිහි විය.


අද අප සාමාන්‍ය ලෙස භාවිතා කරන බොහෝ දේ, එදා යුදමය අවශ්‍යතා හේතුවෙන් වේගයෙන් සංවර්ධනය වූ බව මෙයින් පැහැදිළි වේ.


යුද්ධයේ අවසානය – නව ගැටුම්වල ආරම්භය ද විය.


1918 නොවැම්බර් 11 දින සටන් විරාමයකට එකඟ වීමත් සමඟ සටන් අවසන් විය.

1919 දී අත්සන් කළ

Treaty of Versailles

මඟින් යුද්ධය නිල වශයෙන් අවසන් විය.

නමුත් එම ගිවිසුමේ දැඩි කොන්දේසි, විශේෂයෙන් ජර්මනියට පනවා තිබූ ආර්ථික හා යුද සීමා, වසර 20කට පසු දෙවන ලෝක යුද්ධයට පදනමක් විය.


යුද්ධයෙන් පසු සිදු වූ ප්‍රධාන වෙනස්කම්:


මිලියන 20කට අධික පිරිසක් ජීවිත අහිමි වීම.


ජර්මානු, ඔස්ට්‍රෝ-හංගේරියානු, ඔටෝමාන් සහ රුසියානු අධිරාජ්‍ය බිඳ වැටීම.


පෝලන්තය සහ චෙකොස්ලොවැකියාව වැනි නව රාජ්‍ය බිහි වීම.


ලෝක සාමය රැකීමට “ජාතීන්ගේ සංගමය” පිහිටුවීම.


පළමු ලෝක යුද්ධය අපට තාක්ෂණික උරුමයන් කිහිපයක් ලබා දුන්නද, ඒ සඳහා ගෙවූ වන්දිය අතිශය බරපතළය.

එය ලෝක සිතියම වෙනස් කළ යුද්ධයක් පමණක් නොව,

මිනිස්කම සහ බල ලෝභය අතර සටනක ඉතිහාස පාඩමකි.

සාමය අගය කරන්නේ, එය නැති වූ පසුය.

පළමු ලෝක යුද්ධය ඒ අමිහිරි සත්‍යය ලෝකයට ඉගැන්වූයේය.

Monday, February 23, 2026

අත්හැරීමද? මඟහැරීමද?

ඔබ කරන්නේ "අත්හැරීමද?" නැතිනම් "මඟහැරීමද?" 💡

අද සමාජයේ බොහෝ දෙනෙක් පවසන කතාවක් තමයි, "ජීවිතය අනිත්‍යයි, කිසිම දෙයක් වැඩක් නැහැ, ඔක්කොම අතහරින්න ඕනේ" කියන එක. නමුත් මේ කතාව ඇතුළේ සැඟවුණු ලොකු මුලාවක් තියෙනවා. පොඩ්ඩක් හිතන්න, යමක් අතහරින්න නම් ඒ දේ මුලින්ම අත්විඳලා තියෙන්න ඕනේ නේද?

✅ අත්හැරීම සහ මඟහැරීම

​යම් දෙයක් උපරිමයෙන් අත්විඳ, එහි ඇති නිසරු බව අවබෝධයෙන්ම වටහාගෙන ඉන් ඉවත් වීම "අත්හැරීමයි". (උදා: කුසගින්න නිවුණු පසු කෑම පිඟාන පසෙක තැබීම වගේ ඉතාම සරල සිදුවීමක් දක්වන්න පුළුවන්)

​නමුත් "මඟහැරීම" නම් යම් දෙයකට මුහුණ දීමට ඇති බිය, අසමත් වීම හෝ අලසකම නිසා "මේවා වැඩක් නැහැ" කියා පලායාමයි. (උදා: කෑම සොයාගන්න බැරි වූ විට "මට බඩගිනි නැහැ" කීම වගේ කලින් සඳහන් කළ උදාහරණයම ගන්න පුළුවන්)

⚠️ වැදගත්ම කරුණ: අත්විඳීම යනු "විනාශ වීම" නොවේ!

​අත්විඳීම ගැන කතා කරද්දී අපේ සමාජයේ බොහෝ පිරිස් මෙය වැරදියට වටහාගෙන මත්ද්‍රව්‍ය, සොරකම හෝ දුරාචාරය වැනි විනාශකාරී දේවල් "අත්හදා බලන්න" පෙළඹෙන්න පුළුවන්.

​නමුත් මතක තබා ගන්න: බුද්ධිමත් අත්විඳීම යනු යහපත් ජීවිතයක් ගත කරමින්, ඉලක්ක ජයග්‍රහණය කරමින්, ලෝකය දකිමින් ලබන පරිණතභාවයයි. 🌟

​ගින්දර රස්නෙද කියලා බලන්න අත පුච්චා ගන්න ඕනේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය හෝ වැරදි ක්‍රියා තමන්ව විනාශ කරන බව දැන දැනම ඒවා අත්හදා බැලීම මෝඩකමක් මිස "අත්දැකීම් ලැබීමක්" නෙවෙයි. එය තමන්වම විනාශ කර ගැනීමක් පමණයි.

​සැබෑ අත්හැරීමක් කළ හැක්කේ ජීවිතය දෙස බුද්ධිමත්ව බලා, එහි හරය සහ නිසරු බව වටහා ගත් කෙනෙකුට පමණයි.

"ජීවිතයෙන් පලා නොගොස්, ජීවිතය අවබෝධ කරගන්න." ✍️

Thursday, February 19, 2026

ආණී සූත්‍රය සහ අද දවසේ ධර්ම ප්‍රචාරය

​අද අපි ජීවත් වෙන්නේ තොරතුරු ඕනෑවටත් වඩා වැඩියෙන් ගලා එන යුගයකයි. ෆේස්බුක්, යූටියුබ් හෝ ටික්ටොක් හරහා ඕනෑම අයෙකුට තමන්ට කැමති දේ ධර්මය ලෙස ප්‍රචාරය කිරීමේ නිදහස ලැබී තිබෙනවා. මෙවැනි වටපිටාවක, මීට වසර 2500කට පෙර බුදුරජාණන් වහන්සේ වදාළ 'ආණී සූත්‍රය' තරම් අදට ගැලපෙන තවත් දේශනාවක් නැති තරම්ය.

​ආණක බෙරයට සිදු වූ දේ
​ආණී සූත්‍රයේ එන ලස්සන උපමාව මතකද? 'දසාරහ' රජවරුන් සතුව තිබූ 'ආණක' නම් බෙරය පළුදු වන විට, මිනිසුන් කළේ එයට ඇණ ගසමින් අලුත්වැඩියා කිරීමයි. කාලයත් සමඟ මුල් බෙරයේ ලී කොටස් දිරා ගොස්, අවසානයේ ඉතිරි වූයේ ඇණ ගොඩක් පමණයි. බෙරයේ මුල් හඬ නැති වී ගියා. බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගතයේදී බුද්ධ භාෂිතයටත් ඔය දේම සිදුවන බවයි.

​අද සමාජයේ "ඇණ ගැසූ" ධර්මය
​අද අපි දකින ධර්ම ප්‍රචාරය දෙස බැලීමේදී මේ "ඇණ ගැසීම" පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. 

​කවි සහ අලංකාර වචන: 

ගැඹුරු නිවන සහ ශුන්‍යතාවය වෙනුවට, මිනිසුන් ඇලුම් කරන්නේ මිහිරි කවි, සරල කතන්දර සහ සිත සනසන "මෝටිවේෂන්" වැකිවලටය.

​පෞද්ගලික මතවාද:

"බුදුන් වදාළේ මෙහෙමයි" කියා තමන්ගේම අදහස් පටලවා දේශනා කිරීම අද බහුලව දකින්න ලැබෙනවා. මෙය හරියට මුල් බෙරයට අලුත් ඇණයක් ගැසීමක් වැනියි.

​බාහිර දේට මුල් තැන දීම:

ධර්මයේ හරය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ සාකච්ඡා කරනවා වෙනුවට, ලෞකික සැප සම්පත් ලබාගැනීමේ ක්‍රමවේද ලෙස ධර්මය භාවිත කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.

​බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය හරහා අපට දෙන අවවාදය ඉතා පැහැදිලියි. සැබෑ බුද්ධ භාෂිතය අතුරුදහන් නොවීමට නම් අපි, ගැඹුරු දහමට බිය නොවී ශුන්‍යතාවය හෝ නිර්වාණය වැනි ගැඹුරු මාතෘකා දේශනා කරන විට ඒවා මග නොහැර ශ්‍රවනය කළ යුතුය. යම් කරුණක් ධර්මය ලෙස පිළිගැනීමට පෙර එය ත්‍රිපිටක ධර්මයට සහ සූත්‍ර දේශනාවලට අනුකූලදැයි විමසා බැලිය යුතුය. ඒ වගේම අලංකාරයට වඩා හරයට මුල් තැන දෙන ධර්මය ඇසුරු කළ යුතුයි. වචනවල මිහිරියාවට වඩා එමඟින් කියැවෙන විමුක්ති මාර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් නම් ඇත්තටම ධර්මාවබෝධය අපට වැඩි ඈතක නොවේ.

​ඇත්තටම අපට ඇසෙන්නේ මුල් බෙරයේ හඬද, නැතිනම් ඇණ ගැසීම නිසා වෙනස් වූ ශබ්දයක්ද යන්න තීරණය වන්නේ අපේ අවධානය මතයි. ධර්මය "රස විඳීමට" වඩා ධර්මය "අවබෝධ කර ගැනීමට" උත්සාහ කරමු. එවිට පමණක් 'ආණක' බෙරය වැනි මුල් බුදු දහම ඉදිරි පරම්පරාවටත් ආරක්ෂා වනු ඇතැයි සිතියහැකි
​නමුත් බුද්ධ දේශනාව සත්‍යයක් ලෙස පිළිගන්නා මා හට මෙය අරුමයක් නොවන්නේ උන්වහන්සේ දේශනා කළ කිසිත් මේ වනතුරු අසත්‍ය නොවූ නිසාවෙනි. ඉතින් වසර 2500කට වඩා ගෙවුණු අතීතය තුළ වෙනස් වෙවී පැමිණි දහම, නොවෙනස්ව ඉදිරියට යාමක් බුද්ධ දේශනාවට අනුව බලාපොරොත්තු විය නොහැක. ඉතින් තවමත් අපට සද්ධර්මය ඇසීමට ඇති වාසනාව ඇතත් එහි හඬ අඩුවෙමින් පවතී. එය වටහා ගන්නා තරමට ඔබටත් මේ සසර කෙළවර කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

Saturday, February 14, 2026

සිනමාව, විද්‍යාව සහ අනාගතය

සිනමා තිරයෙන් යථාර්ථයට
අපි සිනමා නිර්මාණයක් බලන්නේ බොහෝ විට විනෝද වීමටයි; කතාවකට ඇදී යන දර්ශනවල සුන්දරත්වය විඳගැනීමටයි. නමුත් සමහර සිනමාකරුවන්ට සිනමාව යනු හුදෙක් විනෝදාස්වාද මාධ්‍යයක්ම නොවේ. එය අනාගත ලෝකය පිළිබඳව සිතන්නට, අනාගතය ප්‍රශ්න කරන්නට සහ සමහර විට අනාගතය සැලසුම් කරන්නට භාවිතා කළ ප්‍රබල මාධ්‍යයකි.

විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ (Science Fiction) සිනමාව, අද අප සාමාන්‍ය දෙයක් ලෙස භාවිතා කරන තාක්ෂණික මෙවලම් බොහෝමයකට මුල්ම අදහස ලබා දුන් මාධ්‍යයයි. සිනමාව කෙතරම් දුරට යථාර්ථයක් වී තිබේද යත්, සමහර අවස්ථාවලදී විද්‍යාව සිනමාව අනුකරණය කරනවා සේම, තවත් විටෙක සිනමාව විද්‍යාවට පාර පෙන්වන බව පෙනේ. සිනමාකරුවන් යනු අතිවිශිෂ්ට පරිකල්පන ශක්තියකින් ලෝකය දෙස වෙනස්ම මානයකින් බලන පිරිසක් ඉතින් මම මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ එදා සිනමාවේදීන් දුටු අද වෙනකොට යථාර්ථයක් වුන දේවල් කිහිපයක් ගැන. අපි එහෙනම් 20 වැනි සියවසේ මුල ඉඳලම පටන්ගමු.

සිනමා තිරයෙන් අභ්‍යවකාශයට

1902 දී A Trip to the Moon චිත්‍රපටය හරහා සඳට යාම යනු එදා සිනමා තිරයක පෙනුණු විහිළුවක් වැනි අදහසකි. නමුත් ඉන් වසර 67කට පසු, 1969 දී Apollo 11 මෙහෙයුම හරහා මිනිසා සැබෑවටම සඳ මත පා තැබුවේය. සිනමා පරිකල්පනයක් විද්‍යාත්මක යථාර්ථයක් වීමට දශක 6කට වැඩි කාලයක් ගතවුනා. ඒ වගේම 1968 දී තිරගත වූ 2001: A Space Odyssey චිත්‍රපටය මඟින් කෘතිම බුද්ධිය, අභ්‍යවකාශ මධ්‍යස්ථාන සහ වීඩියෝ ඇමතුම් වැනි සංකල්ප හඳුන්වා දුන්නේය. අද වන විට International Space Station 1998 සිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, වීඩියෝ ඇමතුම් 2000 දශකයෙන් පසු සාමාන්‍ය භාවිතයකි. AI තීරණ පද්ධතිද 21වන සියවසේ වේගයෙන් වර්ධනය විය. එනම් එදා සිනමාවේ දැක්වූ අදහස් යථාර්ථයක් වීමට ගත වූ කාලය අවුරුදු 30 සිට 50 ක් වැනි කාලයක් තුල සැබෑවක් වී තිබේ.

යන්ත්‍ර, රොබෝ සහ මනුෂ්‍යත්වය 1927 දී Metropolis චිත්‍රපටය හරහා හියුමනොයිඩ් රොබෝවරුන් පිළිබඳ අදහස සමාජයට හඳුන්වා දුන්නේය. අද කාර්මික රොබෝ 1960 දශකයෙන් පසු කර්මාන්ත ලෝකයට පිවිස ඇති අතර, උසස් හියුමනොයිඩ් රොබෝවරු 21වන සියවසේ සංවර්ධනය වෙමින් පවතී. එනම් මෙම සිනමා අදහස තාක්ෂණික යථාර්ථයක් වීමට ගත වූ කාලය වසර 80 සිට 100 අතර කාල පරාසයකදී සැබෑ වෙමින් පවතී.

තවද, 1999 දී නිකුත් වූ Bicentennial Man චිත්‍රපටය AI සදාචාරය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කළේය. යන්ත්‍රයකට අයිතිවාසිකම් තිබිය යුතුද? සංවේදනා ඇති යන්ත්‍රයක් පුද්ගලයෙක්ද? මේ ප්‍රශ්න ලෝකය පුරා විද්‍යාත්මක සහ නීතිමය සංවාදයක් වශයෙන් 2010 දශකයෙන් පසු විශාල ලෙස වර්ධනය විය. එනම් එම සිනමා අදහස සමාජ සංවාදයක් වීමට ගත වූ කාලය දශක දෙකකටත් අඩු වීම තුළ තාක්ෂණික පෙරලියේ වෙගවත් බව අපට මතක්කරදෙයි, එමෙන්ම අතථ්‍ය යථාර්ථය සහ ඩිජිටල් ලෝකය වැනි අදහස්
1999 දී The Matrix චිත්‍රපටය තුළින් අතථ්‍ය යථාර්ථය පිළිබඳ දැඩි ප්‍රශ්න සමාජයට ඉදිරිපත් කළේය. අද VR තාක්ෂණ 2010 දශකයෙන් පසු ජනප්‍රිය වී ඇති අතර, Metaverse වැනි සංකල්ප 2020 දශකයේදී වර්ධනය වෙමින් පවතී. simulated digital immersion technology practical level එකට පැමිණීමට ගත වූ කාලය අවුරුදු 15 සිට 25 දක්වා කාල පරාසයන් අතර සිදුවී තිබේ.

කෘතිම බුද්ධිය සහ මිනිසා
2013 දී Her චිත්‍රපටය AI සහ මිනිසා අතර මානසික බැඳීමක් පිළිබඳ සංවේදී කතාවක් ඉදිරිපත් කළේය. අද conversational AI systems සහ voice assistants සාමාන්‍ය භාවිතයට පැමිණීමට ගත වූ කාලය දශකයකටත් අඩුය.
2014 දී Ex Machina AI ස්වයං පාලනය සහ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවූ අතර, AI regulation ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්ති සංවාදයක් වීමට ගත වූ කාලයද වසර 10කට අඩුය. මෙය අතිශය වේගවත් ගමනකි.

Star Trek මාලාවේ communicators → ජංගම දුරකථන නිර්මාණයේ
Concept එකේ සිට practical device දක්වා — වසර 10 සිට 15 අතර කාලය තුල වූ දියුණව අතිශයින්ම වේගවත්ය.

Iron Man හි holographic interfaces → mixed reality තාක්ෂණයන් සැබෑ වීමට 
 වසර 10 සිට 20 වැනි කෙටි කාලයන් තුලදී පෙන්වා ඇති දියුනුව අතිමහත්ය.

විද්‍යාඥයන් සහ සිනමාකරුවන් සෘජුවම සහයෝගයෙන් කටයුතු කරන අවස්ථාද බොහෝය. NASA උපදේශනයෙන් The Martian නිර්මාණය වූ අතර, භෞතික විද්‍යාත්මක නිරූපණය සඳහා කිප් තෝර්න්ගේ උපදේශනයෙන් Interstellar නිර්මාණය විය.

සිනමාව යනු හුදෙක් තිරයක දිස්වන කතාවක්ම නොවේ. එය අපට යා හැකි අනාගතයන් ගැන සිතා බැලීමට කෙරෙන ආරාධනාවකි. ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ එක් වැදගත් සත්‍යයකි: සිනමාවෙන් උපන් අදහසක් යථාර්ථයක් වීමට සමහර විට දශකයක්, සමහර විට සියවසක් ගත වේ. ඒ අනාගතය සුන්දරද, භයානකද යන්න තීරණය වන්නේ අද අප ගන්නා තීරණ මතයි.
විද්‍යා ප්‍රබන්ධ අපට පවසන්නේ එකම දෙයකි: අනාගතය එනතුරු බලා සිටීම ප්‍රමාණවත් නැත; ඒ ගැන සිතා, ප්‍රශ්න කර, වගකීමෙන් යුතුව එය නිර්මාණය කිරීමට අප සූදානම් විය යුතුය.

සුපුන් රුවන් පතිරණ
නිර්වාව 
2026.02.14

Thursday, January 22, 2026

පටු විවේචන හමුවේ නොසැලෙන යථාර්ථය

මහ ගත්කතුවරයා සහ ගම්පෙරළිය



පසුගිය දිනෙක උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගුරුවරයෙකු විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සහ ඔහුගේ "ගම්පෙරළිය" කෘතිය නිර්දය ලෙස විවේචනය කරමින් එතුමාට අපහාස කලහ. එම ගුරුවරයාට හා සමස්ත සමාජයටම එතුමා ගැන කරුණු කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි.

සාහිත්‍යය යනු හුදෙක් විභාග සමත් වීමට කටපාඩම් කරන කරුණු එකතුවක් නොව, මිනිස් ජීවිතය දෙස ගැඹුරින් බලන කැඩපතක් බව අමතක කරමින් කරන එවැනි විවේචන පිළිබඳව අප නැවත සිතා බැලිය යුතුය.

වර්තමාන උපකාරක පන්ති සංස්කෘතිය තුළ බොහෝ ගුරුවරුන් තමන්ගේ නමට ඉදිරියෙන් විවිධ "අකුරු කැටයම්" දමා ගනිමින් තමන්ම තමන්ට "පඬි" පට්ටම් ගසා ගන්නා ආකාරය අපට පෙනේ. එහෙත් මාර්ටින් වික්‍රමසිංහයන් යනු එවැනි පටු ප්‍රසිද්ධියක් පසුපස ගිය අයෙකු නොවේ. ලෝක ප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝසප් නීඩ්හැම් (Joseph Needham) මහතා වික්‍රමසිංහයන්ව හැඳින්වූයේ "කොග්ගල ප්‍රාඥයා" (Sage of Koggala) යන ගෞරව නාමයෙනි. විදේශීය මහා විද්වතුන් පවා හිස නැමූ ඒ මහා ප්‍රඥාව, හුදෙක් ජනප්‍රියත්වය සොයන ටියුෂන් ගුරුවරයෙකුගේ නිර්දය විවේචනයකට ලක් කිරීම හාස්‍යයට කරුණකි.

ස්වෝත්සාහයෙන් ලොව දිනූ විද්වතෙකු ලෙස වික්‍රමසිංහයන් හුදෙක් ලේඛකයෙකු පමණක් නොව, ස්වෝත්සාහයෙන් උගත් (Self-educated) මහා බුද්ධිමතෙකි. විධිමත් පාසල් අධ්‍යාපනය සීමිත වුවද, ඉංග්‍රීසි සහ පාලි භාෂා ස්වෝත්සාහයෙන් හදාරමින් ඔහු ගොඩනගාගත් දැනුම් සම්භාරය අතිවිශාලය. මානව විද්‍යාව, පරිණාමවාදය, බෞද්ධ දර්ශනය සහ ලෝක සාහිත්‍යය පිළිබඳ ඔහු සතු වූ නිපුණත්වය ඕනෑම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අභිබවා යන්නකි. ඒබව එතුමාට ලැබී ඇති නම්බු නාම ගෞරව උපාධි පිළිබඳ සොයා බැලීමෙන් උගත හැකිය.

ජාත්‍යන්තරය පිළිගත් සිංහල අනන්‍යතාවය "ගම්පෙරළිය" ඇතුළු වික්‍රමසිංහයන්ගේ කෘති අද වන විට රුසියානු, චීන, ජර්මන්, ප්‍රංශ සහ ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ විවිධ භාෂා 20කට ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. ලෝක ප්‍රකට සිනමාකරු සත්‍යජිත් රායි පවා අගය කළ "ගම්පෙරළිය", මෙරට උපකාරක පන්ති කාමරයකදී අවතක්සේරුවට ලක් වුවද, එය ලෝක සාහිත්‍ය සිතියමේ ශ්‍රී ලංකාව සටහන් කළ මහා සලකුණකි. නමුත් මෙය නිර්දය විවේචනයට ලක්කල ගුරුවරයා පිලිබඳව මෙරට පුද්ගලයන් පවා හදුනාගන්නේ මොහු කල අමන ප්‍රකාශයෙන් අනතුරුවය. 

යථාර්ථවාදය සහ සදාචාරය පිළිබඳව "ගම්පෙරළිය" තුළින් පිළිබිඹු කළේ ගමේ රදළ පන්තියේ බිඳවැටීමත්, ව්‍යාපාරික පන්තියේ නැගීමත් යන සමාජ පරිණාමය ඉතාම නිරවද්‍ය ලෙස වාර්තා කිරීමයි. කතුවරයා චරිතවල දුබලතා පෙන්වන්නේ එම දුබලතා අනුමත කිරීමට නොව, මිනිස් ස්වභාවය පවතින සැටියෙන් (Realism) අවබෝධ කර දීමටය. චරිතවල පවතින මනුෂ්‍ය දුර්වලතා විවේචනය කිරීම, ලේඛකයාගේ සදාචාරය විවේචනය කිරීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය.

පටු විභාග ඉලක්ක කරගත් විවේචන මගින් මාර්ටින් වික්‍රමසිංහ වැනි ලෝක පූජිත ලේඛකයෙකුගේ ගෞරවයට හානි කළ නොහැක. ඔහු දකුණු ලක කොග්ගලින් බිහි වූ සැබෑ "ප්‍රාඥයෙකි". අප කළ යුත්තේ මෙවැනි සම්භාව්‍ය කෘති අපහාසයට ලක් කිරීම නොව, ඒවායින් උකහා ගත හැකි මානව දයාව සහ ජීවන පරිඥානය තරුණ පරපුරට දායාද කිරීමයි.


සුපුන් රුවන් පතිරණ 
නිර්වාන- කිරිවත්තුඩුව 


මනෝවිද්‍යාව සහ කෘතිම බුද්ධිය

මානව මනස සහ තාක්ෂණයේ සුසංයෝගය



මනෝවිද්‍යාව යනු මිනිස් මනස සහ හැසිරීම පිළිබඳව කෙරෙන විද්‍යාත්මක හැදෑරීමයි. පුද්ගලයෙකුගේ චින්තන රටාව, හැඟීම් සහ ක්‍රියාවන් පාලනය වන ආකාරය පිළිබඳව ගැඹුරින් සොයා බලන මෙම විෂය ක්ෂේත්‍රය, මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දෙයි. නූතන තාක්ෂණික ලෝකය තුළ මෙම මනෝවිද්‍යාත්මක දැනුමට සමාන්තරව දියුණු වන අනෙක් ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණයයි. සරලවම පැවසුවහොත් AI යනු මානව බුද්ධිය සහ තර්කන හැකියාව යන්ත්‍ර පද්ධති හරහා අනුකරණය කිරීමට දරන උත්සාහයකි.

මනෝවිද්‍යාව සහ කෘතිම බුද්ධිය අතර පවතින්නේ අතිශය සමීප සබඳතාවයකි. මෙම ක්ෂේත්‍ර දෙකම "බුද්ධිය" (Intelligence) සහ "තොරතුරු සැකසීම" (Information Processing) යන මූලිකාංග මත පදනම්ව ක්‍රියා කරයි. වඩාත් සුමට සහ ස්වාභාවික AI පද්ධතියක් නිර්මාණය කිරීමේදී මනෝවිද්‍යාත්මක මූලධර්ම භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ, තාක්ෂණය මිනිසාට වඩාත් සමීප වීමට නම් එය මිනිස් සිතුවිලි සහ අවශ්‍යතා නිවැරදිව තේරුම් ගත යුතුය.

තාක්ෂණය තුළ මනෝවිද්‍යාත්මක භාවිතය පිළිබඳව අවධානය යොමුකිරීමේදී "සංජානන මනෝවිද්‍යාව" (Cognitive Psychology) ප්‍රබල භූමිකාවක් ඉටු කරයි. මිනිස් මොළයට එකවර ග්‍රහණය කරගත හැකි තොරතුරු ප්‍රමාණය හඳුනා ගැනීමෙන්, පරිශීලකයාට පීඩනයක් නොවන ලෙස සරලව තොරතුරු ඉදිරිපත් කිරීමට AI පද්ධති හැඩගස්වනු ලබයි. එපමණක් නොව, "චිත්ත සවභාව බුද්ධිය" (Emotional Intelligence) AI පද්ධතිවලට ඇතුළත් කිරීම තවත් සුවිශේෂී පියවරකි. පරිශීලකයාගේ ස්වරය සහ වචන භාවිතය අනුව ඔවුන්ගේ මානසික තත්ත්වය හඳුනාගෙන, ඊට සහකම්පනයෙන් ප්‍රතිචාර දැක්වීමට අද වන විට AI තාක්ෂණය පුහුණු කෙරේ.

මානව-පරිගණක අන්තර්ක්‍රියා (Human-Computer Interaction) දියුණු කිරීම සඳහා භාෂා මනෝවිද්‍යාව ද මහෝපකාරී වේ. AI පද්ධතියක් සාමාන්‍ය මිනිසෙකු කතා කරන ආකාරයටම සංවාද කිරීමට හුරුවීම නිසා, තාක්ෂණය යනු තවදුරටත් ආගන්තුක උපකරණයක් නොව මිනිසාට සමීප සහකරුවෙකු බවට පත්ව ඇත. මේ හා සමානවම, චර්යාත්මක මනෝවිද්‍යාව (Behavioral Psychology) මගින් පරිශීලකයාගේ පුරුදු සහ රුචිකත්වයන් හඳුනා ගනිමින්, එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ පුද්ගලීකරණය කළ (Personalized) සේවාවන් සැපයීමට AI සමත් වේ.

මානුෂීය ස්පර්ශය සහ සෞඛ්‍යමය දායකත්වය මනෝවිද්‍යාත්මක දැනුම ද මුසු වීම නිසා AI පද්ධති තුළ පවතින යාන්ත්‍රික බව ඉවත් වී, එය වඩාත් "මානුෂීය" මුහුණුවරක් ගනී. මෙම තත්ත්වය පද්ධතිය කෙරෙහි පරිශීලකයා තුළ පවතින විශ්වාසය ඉහළ නැංවීමට බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම, මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද AI සහ මනෝවිද්‍යාව අත්වැල් බැඳගෙන සිටියි. මානසික පීඩනය කලින් හඳුනා ගැනීමට සහ චිකිත්සක මගපෙන්වීම් ලබා දීමට උපකාරී වන AI යෙදුම් මගින් වර්තමානයේ බොහෝ පිරිසක් සහනයක් ලබති.

කෙසේ වෙතත්, මනෝවිද්‍යාව සහ AI සැසඳීමේදී වැදගත් වෙනසක් ද පවතී. මිනිස් මනස සතු සැබෑ හැඟීම්, සදාචාරාත්මක විචාර බුද්ධිය සහ නිර්මාණශීලිත්වය අතිශය සංකීර්ණ ස්වභාවයක් ගනී. AI මගින් සිදු කරන්නේ එම ක්‍රියාවලීන් දත්ත සහ තර්ක ඇසුරින් අතිශය සාර්ථක ලෙස අනුකරණය කිරීම පමණක් බව අප අමතක නොකළ යුතුය.

අනාගතයේදී රොබෝ තාක්ෂණය සහ ස්නායු විද්‍යාව වැනි ක්ෂේත්‍ර දියුණු වීමත් සමඟ මනෝවිද්‍යාව සහ AI අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇත. මෙහිදී "සදාචාරාත්මක මනෝවිද්‍යාව" (Ethics) පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. AI පද්ධති මිනිස් සිතුවිලි සහ හැසිරීම් සමඟ සමීපව ගනුදෙනු කිරීමේදී, පුද්ගල රහස්‍යභාවය සහ මානව ගෞරවය සුරැකීම තාක්ෂණික ශිල්පීන්ගේ වගකීමක් වගේම තවමත් ළදරු අවදියක සිටිනා කෘතිම බුද්ධිය බොහෝ දෑ පරිශීලකයන් මඟින් උගනී එහෙයින් අප ඉතා කල්පනාකාරීව මෙම යෙදවුම් භාවිතාකල යුතුය.

මනෝවිද්‍යාව සහ කෘතිම බුද්ධිය යනු එකිනෙකාට පරිපූර්ණත්වයක් ලබා දෙන ක්ෂේත්‍ර දෙකකි. වඩාත් සාර්ථක AI පද්ධතියක් යනු තාක්ෂණිකව දියුණු එකක් පමණක් නොව, එය මනෝවිද්‍යාත්මකව මිනිසා තේරුම් ගත් පද්ධතියක් ද විය යුතුය. මෙම සුවිශේෂී සුසංයෝගය මගින් අනාගත ලෝකය තුළ මිනිසා සහ තාක්ෂණය අතර වඩාත් යහපත් සහජීවනයක් ගොඩනැගෙනු ඇතැයි අනුමාන කල හැකිය.


සුපුන් රුවන් පතිරණ
2026. දුරුතු. 20