අද අපි ජීවත් වෙන්නේ තොරතුරු ඕනෑවටත් වඩා වැඩියෙන් ගලා එන යුගයකයි. ෆේස්බුක්, යූටියුබ් හෝ ටික්ටොක් හරහා ඕනෑම අයෙකුට තමන්ට කැමති දේ ධර්මය ලෙස ප්‍රචාරය කිරීමේ නිදහස ලැබී තිබෙනවා. මෙවැනි වටපිටාවක, මීට වසර 2500කට පෙර බුදුරජාණන් වහන්සේ වදාළ 'ආණී සූත්‍රය' තරම් අදට ගැලපෙන තවත් දේශනාවක් නැති තරම්ය.
ආණක බෙරයට සිදු වූ දේ
ආණී සූත්‍රයේ එන ලස්සන උපමාව මතකද? 'දසාරහ' රජවරුන් සතුව තිබූ 'ආණක' නම් බෙරය පළුදු වන විට, මිනිසුන් කළේ එයට ඇණ ගසමින් අලුත්වැඩියා කිරීමයි. කාලයත් සමඟ මුල් බෙරයේ ලී කොටස් දිරා ගොස්, අවසානයේ ඉතිරි වූයේ ඇණ ගොඩක් පමණයි. බෙරයේ මුල් හඬ නැති වී ගියා. බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගතයේදී බුද්ධ භාෂිතයටත් ඔය දේම සිදුවන බවයි.
අද සමාජයේ "ඇණ ගැසූ" ධර්මය
අද අපි දකින ධර්ම ප්‍රචාරය දෙස බැලීමේදී මේ "ඇණ ගැසීම" පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.
කවි සහ අලංකාර වචන:
ගැඹුරු නිවන සහ ශුන්‍යතාවය වෙනුවට, මිනිසුන් ඇලුම් කරන්නේ මිහිරි කවි, සරල කතන්දර සහ සිත සනසන "මෝටිවේෂන්" වැකිවලටය.
පෞද්ගලික මතවාද:
"බුදුන් වදාළේ මෙහෙමයි" කියා තමන්ගේම අදහස් පටලවා දේශනා කිරීම අද බහුලව දකින්න ලැබෙනවා. මෙය හරියට මුල් බෙරයට අලුත් ඇණයක් ගැසීමක් වැනියි.
බාහිර දේට මුල් තැන දීම:
ධර්මයේ හරය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ සාකච්ඡා කරනවා වෙනුවට, ලෞකික සැප සම්පත් ලබාගැනීමේ ක්‍රමවේද ලෙස ධර්මය භාවිත කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය හරහා අපට දෙන අවවාදය ඉතා පැහැදිලියි. සැබෑ බුද්ධ භාෂිතය අතුරුදහන් නොවීමට නම් අපි, ගැඹුරු දහමට බිය නොවී ශුන්‍යතාවය හෝ නිර්වාණය වැනි ගැඹුරු මාතෘකා දේශනා කරන විට ඒවා මග නොහැර ශ්‍රවනය කළ යුතුය. යම් කරුණක් ධර්මය ලෙස පිළිගැනීමට පෙර එය ත්‍රිපිටක ධර්මයට සහ සූත්‍ර දේශනාවලට අනුකූලදැයි විමසා බැලිය යුතුය. ඒ වගේම අලංකාරයට වඩා හරයට මුල් තැන දෙන ධර්මය ඇසුරු කළ යුතුයි. වචනවල මිහිරියාවට වඩා එමඟින් කියැවෙන විමුක්ති මාර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් නම් ඇත්තටම ධර්මාවබෝධය අපට වැඩි ඈතක නොවේ.
ඇත්තටම අපට ඇසෙන්නේ මුල් බෙරයේ හඬද, නැතිනම් ඇණ ගැසීම නිසා වෙනස් වූ ශබ්දයක්ද යන්න තීරණය වන්නේ අපේ අවධානය මතයි. ධර්මය "රස විඳීමට" වඩා ධර්මය "අවබෝධ කර ගැනීමට" උත්සාහ කරමු. එවිට පමණක් 'ආණක' බෙරය වැනි මුල් බුදු දහම ඉදිරි පරම්පරාවටත් ආරක්ෂා වනු ඇතැයි සිතියහැකි
නමුත් බුද්ධ දේශනාව සත්‍යයක් ලෙස පිළිගන්නා මා හට මෙය අරුමයක් නොවන්නේ උන්වහන්සේ දේශනා කළ කිසිත් මේ වනතුරු අසත්‍ය නොවූ නිසාවෙනි. ඉතින් වසර 2500කට වඩා ගෙවුණු අතීතය තුළ වෙනස් වෙවී පැමිණි දහම, නොවෙනස්ව ඉදිරියට යාමක් බුද්ධ දේශනාවට අනුව බලාපොරොත්තු විය නොහැක. ඉතින් තවමත් අපට සද්ධර්මය ඇසීමට ඇති වාසනාව ඇතත් එහි හඬ අඩුවෙමින් පවතී. එය වටහා ගන්නා තරමට ඔබටත් මේ සසර කෙළවර කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
No comments:
Post a Comment